Monday, November 21, 2011

කුළුදුල් පෙම සොයා

පාලුව තනිය හදවත රජයන කලක

පිවිතුරු පෙමක සුපැතුම් ඇත හද කොනක

හද කිති කවන සුමිහිරි හැ‍ගුමන් පොදක

පහසින් විකසිතව සැනසෙනු කොයි දිනෙක


දුටුවන් මන බ‍දින රූ සිරි නොමැති ගත

සැගවී තිබෙන හදවත හෙලි කරන වත

සැබැවින් හැදින දිගු කරනා රන් දෑත

රැකගමි දිවිතුරා නොයනෙමි හැර ඈත

Sunday, November 20, 2011

ලස්සනයි ඔබ තාම

මුහුණ සුදු නැතුවාට
කොණ්ඩෙ තඹ නොවුනාට
ඇඳුම් තද නොවුනාට
ලස්සනයි ඔබ තාම

සුන්දරයි පිවිතුරුයි පිපුණු මල් මිට වගේ
මුව වදන් සුමිහිරියි කණට මී පැණි වගේ
මගෙ සිතට පෙම් සිසිල ගෙනෙන කුමරිය මගේ
මුලු හදින් ඔබ මගේ ලඟ ඉන්න පණ වගේ

මුතු සිනා රැඳී මුවේ පෙම් සිනා පිබිදුනේ
හදට හද යා වූනේ පෙම් සිසිල නෑවුනේ
මට මගේ ලෝකයම ඔබම පමණයි ලඳේ
මුලු හදින් මම ඔබේ ලඟ ඉඳිමි පණ වගේ

Sunday, March 27, 2011

නොදරුවා

ඔබ....
කෙතෙක් දෑ උගත්ත ද,
කෙතෙක් දෑ දිනූව ද,
කෙතෙක් උස මහත වූව ද,
එදා ඇකයේ උන්
ඒ නොදරුවාම ය
අදත් ඔබ...
ඔබේ අම්මාට.

Saturday, December 11, 2010

සිතිවිලි සේයා දොරට වැඩුම(Sithiwili seya Book launch)

සිතිවිලි සේයා කාව්‍ය කෘතිය එළි දැක්වීම 2010/11/11 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී උපකුලපති තුමා ඇතුලු ආචාර්ය මහාචාර්යවරුන් හා සිසු සිසුවියන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි.






එහි දී උපකුලපති තුමා දැක්වූ අදහස්(Speech of the vice-chancellor):



පළමු ප්‍රධාන දේශනය (First main lecture) :-
භාශා හා සංස්තෘතික අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන
ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
( Head of the department of languages and cultural studies,
Dr.Saman Chandra Ranasingha)



දෙවන ප්‍රධාන දේශනය (second main lecture) :-
භෞතික විද්‍යා අධ්‍යනාංශයේ
ආචාර්ය මධුරංග ප්‍රනාන්දු
( Dr. Maduranga Fernando,
Depatrment of Physics)



කතුවරයාගේ ස්තූති කතාව(Thanks giving by the Author):

Sunday, November 28, 2010

ගැටළුව

ගැටළු නැති ජීවිතය
ලුණු නොමැති මාළුවකි
දිවග කිසි රසයක් නොදේ
දිවි ගමනෙ අරුතක් නොවේ

ගැටළුවෙන් ගැටළුවට
පිළිවදන් සොයාගෙන
යනෙන මග තුටු මල් පිපේ
දසත සුවඳින් නැහැවෙතේ

අප ව‍ටා ලෝකයම
එකම සරසවි බිමකි
නොදන්නා දෑ බෝ වෙතේ
දැනගන්න බෝ දෑ වෙතේ

Sunday, September 5, 2010

පටලයන්ගෙන් මිදීම

ආදරය නම් පටල බැඳිලා
දුබල විය දෙනෙතම
සුද බැඳුනාක් සේ
නොපෙනී ගියා ලෝකය,
පෙනුනේ ඇස රැඳුනු
පටලයම පමණක්ය

පටලය තුළින් දකින ලෝකය
මනරම්ය,සොඳුරුය.

කාලය නම් වූ වෙදානෝ
විරහ දුක නම් බෙහෙත් පැලයෙන්
කොටා අඹරා ගත්තු යුෂයන්
ජීව ඤාණය නැමැති තෛලෙන්
හොඳින් මුසුකොට කළෙන් වෙදකම්

පසක් විය පුහු බව
පටලයන්ගෙන් මිදීමෙන්

Friday, May 21, 2010

සැකය

‍බස් නැවතුමේ කල් මරමින් සිටි වේලේ
ලඟ උන් දමිළ මගියෙකු තොල කට වේලේ
කියලා මල්ල මට දීලා ගිය වේලේ
සිහි විය බෝම්බය පිපිරුණ ඒ කා‍ලේ

ගෙදරට නැවත යා ගන්නට බැරි වෙයිද
ගේ දොර ඉඩං අතහැර යන්නට වෙයිද
නෑදෑ හිතවතුන් දකිනට නැති වෙයිද
මා ලඟ තියන මල්ලත් අද පුපුරයිද

රත් වී දෙලොව නෙත ඒ වෙත යොමු වූයේ
ඉහ කණ දාඩියෙන් තෙත බරියං වූයේ
යන එන මං සතරඅත අමතක වූයේ
දැන් එයි දැන් එතියී සිතමිනි පසු වූයේ

කෑමක් දෑස මායිම නොපෙනෙන ලෙසට
සතියක් හාමතේ හිඳ අසරණ කලට
ප්‍රියතම අහර පෙනෙනාමෙන් දැනුණි මට
ඈතින් දමිළ මිතුරා එනු පෙනුණ විට

මොහොතක් කල්පනා කොට යලි බලන විට
අපුලක් දැනුනි මගෙ සිතුවිලි ගැනම මට
ඔහුගේ මල්ල දී මා ගැන සැක නොකොට
ගිය ඔහු තවත් මිනිසෙකි නොපෙනුනිද මට