Friday, May 21, 2010

සැකය

‍බස් නැවතුමේ කල් මරමින් සිටි වේලේ
ලඟ උන් දමිළ මගියෙකු තොල කට වේලේ
කියලා මල්ල මට දීලා ගිය වේලේ
සිහි විය බෝම්බය පිපිරුණ ඒ කා‍ලේ

ගෙදරට නැවත යා ගන්නට බැරි වෙයිද
ගේ දොර ඉඩං අතහැර යන්නට වෙයිද
නෑදෑ හිතවතුන් දකිනට නැති වෙයිද
මා ලඟ තියන මල්ලත් අද පුපුරයිද

රත් වී දෙලොව නෙත ඒ වෙත යොමු වූයේ
ඉහ කණ දාඩියෙන් තෙත බරියං වූයේ
යන එන මං සතරඅත අමතක වූයේ
දැන් එයි දැන් එතියී සිතමිනි පසු වූයේ

කෑමක් දෑස මායිම නොපෙනෙන ලෙසට
සතියක් හාමතේ හිඳ අසරණ කලට
ප්‍රියතම අහර පෙනෙනාමෙන් දැනුණි මට
ඈතින් දමිළ මිතුරා එනු පෙනුණ විට

මොහොතක් කල්පනා කොට යලි බලන විට
අපුලක් දැනුනි මගෙ සිතුවිලි ගැනම මට
ඔහුගේ මල්ල දී මා ගැන සැක නොකොට
ගිය ඔහු තවත් මිනිසෙකි නොපෙනුනිද මට