Friday, January 1, 2010

දුර සිට කළ පෙම

දැනුනද හිමි නොවන බව ඔය රන් දෑත
සිටියෙමි එන තුරා දුර සිට ලඟ පාත
හැඳිනෙමි පායනා සඳ දොර ලඟ ඈත
ඉවසමි තනිව වෙලෙනා හැඟුමන් සීත

දුටුවෙමි ඈත සිට සඳ කිරණ වෑහෙන
ලංවිමි දකිනු රිසි දෙනුවන් විදාගෙන
උණු වී දියව යයි හදවත පලාගෙන
ලං වී තිබුණි නොදැනිම හිරු සොයාගෙන

නොබලන කලට මා දෙස පිරි සිනහ මුවින්
අඳුරුය දසත හිරු සයුරේ ගිලුනු ලෙසින්
නොදොඩන කලට මා සමගින් සුහද සිතින්
දෙසවණ අගුළු නෑරෙයි කන් පැලුනු ලෙසින්

හද කිති කැවූ හැගුමන් පොද යයි වියලී
හද මල මුකුලිතව වියැකී යයිද සැලී
වද මල මගේ මට මළ වද දෙයි නොසැලී
තදබල ලෙසට හිත කලබල වෙයිද යලී

සරසවි සොඳුරිය

සඳ මෙනි මුහුණ එනමුදු නැත ආවාට
ගැමි කම ඇගේ ඇතිමුත් නැත ගැමි පාට
කලිසම හැර දමා ගවුමට ගිය දාට
අවැසිවු සොඳුරු ගති පවතී හැම දාට

Thursday, December 31, 2009

සුභ අළුත් අව්රුද්දක් වේවා !

උදෑසන අරුණලු ද සමගින් පිපුන කුසුමන් හිනැහිලා
කියයි ගී පද මුමුනමින් සුභ අළුත් අව්රුද්දක් කියා
සිතැඟි හැම ඒ ලෙසින් ඉටු වී සතුට ඉතිරී යයි ගලා
පතමි මම ලොව සැවොම සමගින් ඔබට ජය පිට ජය කියා

විහඟ කැල හිමිදිරි උදෙන් දොරකඩ ඉ‍ඳන් පවසන කතා
මිහිරි වදනින් කියයි ඔබ හට මා එවූ සුපැතුම් ගොතා
සතුට සොම්නස සමග පැණිරස කවියකින් එවනෙමි ඔතා
පතන්නෙමි මුලු හදින් ඔබ හට සුභම නව වසරක් ඉතා

ලොකුම පිණ

නෑදෑ හිත මිතුරු
සැවොම සමගින් පිවිතුරු
විලසින් කරන තුරු
කරන පින් ඵල ලැබේ නිරතුරු

තනිව පින් කරගනු
නොහැකි හැම දෙන රැස් වුනු
පින් පෙත් වඩාගනු
දුටු ම සිත ප්‍රීති‍‍‍‍යෙන් ඉපිලුනු

අව්වට දැවෙන පිට
රිදුම් ‍‍දෙනවිට ගැඹුර‍‍ට
සිසිල් දිය විලකට
පනින අම සැප දැනුනි මසිතට

පින්ක‍‍මෙන් පස්‍‍සේ
හැරී බැලු හැම ති‍‍ස්‍‍සේ
සියළු දුක් සිත්‍‍සේ
නිවාලයි දම් අමා වැස්‍‍සේ